කාර් රථයක් යෝධ ඇළට වැටෙයි - දෙදෙනෙක් මරුට

කාර් රථයක් යෝධ ඇළට වැටෙයි - දෙදෙනෙක් මරුට

March 11, 2025   06:43 am

මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී සිදුව අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබේ.

එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත. 

ඊයේ (10) රාත්‍රී එම අනතුර සිදුව තිබුණේ බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදීය.

අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර මෝටර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙයි.

මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර නාඋල පොලිස් වසමේ නාඋල බකමූණ මාර්ගයේ මොරගහකන්ද ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් කල තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

අද (11) අලුයම් කාලයේදී එම අනතුර සිදුව තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙක් හා 41 හැවිරිදි කාන්තාවකි.

ඔවුන් රෝහල් හංදිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලීසිය පවසයි. 

මෙම පිරිස කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

අනතුරින් පසු සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ලොරි රථය සමඟින් පළාගොස් ඇත.

මේ අතර මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් තිබේ.