
දෙවන යුද අධිකරණය මගින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත පනවන ලද මාස 30 ක සිර දඬුවම අද(16) අභියාචනාධිකරණය ඒකමතිකව අනුමත කර තිබේ.
අදාළ සිර දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම විභාග කළේ එරික් බස්නායක, ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් සහ උපාලි අබේරත්න යන විනිසුරුවරුන් විසිනි.
දෙවන යුද අධිකරණයේ විනිසුරුවරු පක්ෂග්‍රාහී බවට පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා විසින් සිය පෙත්සමෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල කර තිබූ බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එරික් බස්නායක විනිසුරුවරයා සඳහන් කළේය.
එහෙත් නඩු විභාගයේ දී එම චෝදනාව තවදුරටත් පවත්වාගෙන යාමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බව විනිසුරුවරුන් ප්‍රකාශ කළේය.
එබැවින් අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇති සහනය ප්‍රදානය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් කරුණු නඩු විභාගයේ දී අනාවරණය නොවූ බව විනිසුරුවරුන් සිය තීන්දුවෙන් පෙන්වා දී ඇත.
පෙත්සමෙන් ඉල්ලා ඇති සහනය ප්‍රදානය කිරීමට නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරු අදාළ පෙත්සම ගාස්තු නොමැතිව ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.
දෙවන යුද අධිකරණය මගින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මාස 30 ක සිර දඬුවමක් පනවා තිබිණි.
එම දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් ෆොන්සේකා මහතා විසින් අභියාදනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

















































