95වන සුලෝහිත සංග්‍රාමය ජයපැරදුමෙන් තොරයි

95වන සුලෝහිත සංග්‍රාමය ජයපැරදුමෙන් තොරයි

March 2, 2025   05:34 pm

කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 95වන වරට පැවති 'සුලෝහිත සංග්‍රාමය' මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (2) අවසන් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 324ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස්කර ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.

ඒ අනුව එක් ලකුණක් පසුපසින් යළි දෙවන ඉනිම ඇරඹූ ආනන්ද විදුහල දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස්කරගෙන සිටියේය.

දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම තරගය 1924 වර්ෂයේදී ආරම්භ වූවකි.

මෙය ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්විණි.

දෙදින තරගයක් ලෙස මීට ඉහතදී පැවැත් වූ මෙම තරගය මෙවර තරගය තුන්දින තරගයක් ලෙසින් පැවැත් වූ අතර, එලෙස තුන්දින තරගයක් ලෙස තරග ඉතිහාසයේ පැවැත් වූ පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම දෙවිදුහල් අතර ජයපරාජයෙන් තොරව අවසන් වූ 76වන තරගය මෙය වේ.

තරග 12ක ජය ආනන්ද විදුහලද, තරග 07ක ජය නාලන්දා විදුහල සතුව තිබුණි.