මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයෙකුට නාවික හමුදාව පිහිටවෙයි
March 2, 2025 05:13 pm
ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
‘Sadaru 03’ නමැති බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 7 දෙනෙකු සමග ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ඊයේ (1) පිටත්ව ගොස් ඇත.
කෙසේ නමුත් එය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 09ක් (කි.මී. 16ක් පමණ) දුරින් වූ මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී එක් ධීවරයෙකු හදිසියේ රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබේ.
එම අසාධ්‍ය ධීවරයාට ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර ඇත.
එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරුණි.
ඒ අනුව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ත්‍රිකුණාමලය වරාය වෙත කඩිනමින් රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකිරීමට නාවික හමුදාව විසින් කටයුතුකර ඇත.