ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

March 1, 2025   09:28 am

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන්ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

වදෝදරාහි BCA ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කළේය.

මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 218ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේදී (19.2) ලකුණු 222ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ උපුල් තරංග අගනා ලකුණු 102ක් රැස්කළේය.

පන්දු 54කින් ගොඩනැගුණු තරංගගේ අනුකම්පා විරහිත ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් ඇතුළත් විය.

ඊට අමතරව ළහිරු තිරිමාන්නද ලකුණු 54කින් දායක විය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තෙවන තරගය මෙයයි.

ඊයේ ලැබූ මෙම ජයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

ශ්‍රී ලංකාව මේ වනවිට තරග 2ක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටියි.

ශ්‍රී ලංකාව ඉදිරියේදී බ.ඉ. කොදෙව් හා එංගලන්ත කණ්ඩායම් සමගින් ක්‍රීඩාකිරිමට නියමිතව ඇත.

මූලික වටයේ තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.