බන්ධනාගාර තුළ නවීන ආරක්ෂක ක්‍රමවේද ඇති කිරීමට පියවර
February 26, 2025 11:36 am
රට තුළ තිබෙන සියලු බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග (ජෑමර්) නවීකරණය කිරීම ද ඇතුළත් ය.
නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ඔස්සේ බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ පසුගියදා අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු ගණේමුල්ල සංජීවගේ සිද්ධියෙන් පසුව වීමද විශේෂත්වයකි.
බන්ධනාගාර තුළ මේ වනවිටත් ජෑමර් සවිකර තිබුණත් ගොඩනැගිලිවල ස්වභාවය අනුව දුරකථන සම්බන්ධතා සම්පූර්ණයෙන් අවහිර කිරීමට හැකියාවක් ලැබී නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව ජෑමර් ඇතුළු ආරක්ෂක ක්‍රමවේද විධිමත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
දැනට සවිකර ඇති ජෑමර්වල අඩුපාඩු හේතුවෙන් බන්ධනාගාර තුළ සිටින රැඳවූවන් දුරකථන සම්බන්ධතා ඔස්සේ බාහිර පාර්ශ්වයන් සමග ඇති කරගෙන තිබෙන සබඳතා වර්ධනය වී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ ඔස්සේ බන්ධනාගාර තුළ සිටිමින් රැඳවූවන් සිය මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රිසිසේ සිදුකරගෙන යන බවද වාර්තා වෙයි.
විශේෂයෙන් බූස්ස වැනි විශේෂ ඝනයේ සැකකරුවන් රඳවා සිටින බන්ධනාගාර තුළින් ද වරින් වර ජංගම දුරකථන සොයාගැනීම් වාර්තා වුණි.
ඒ තුළින් සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරක්ෂිතව සිය අපරාධ ජාලය මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවද නොරහසකි.
රට තුළ බන්ධනාගාර 28ක් පවත්වාගෙන යන අතර ඉන් 10ක් එළිමහන් බන්ධනාගාර වෙයි.
එම බන්ධනාගාර 28 තුළ රඳවා සිටින සමස්ත රැඳවූවන් සංඛ්‍යාව 29,500කි. ඉන් 1,200ක් කාන්තා රැඳවියන් බව වාර්තා වෙයි.