අසරණ රෝගීන්ගේ ආධාර මුදල් ගසාකන පිරිසක් කොටුවෙයි

අසරණ රෝගීන්ගේ ආධාර මුදල් ගසාකන පිරිසක් කොටුවෙයි

February 25, 2025   06:29 am

පිළිකා වැනි, ජීවිතයත් මරණයත් අතර සටන්වදින රෝගවලින් පීඩාවිඳින අසරණ මිනිසුන්ගේ ආධාර මුදල් ලක්ෂ ගණනින් කොල්ලකෑ වංචාකරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකරගන්නට පොලීසිය සමත්ව තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

පිළිකා වැනි දරුණු ගණයේ රෝගාබාධ වැලඳුණු, ඒ සඳහා ප්‍රතිකාර වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින රෝගීන්ගේ දැන්වීම් සමාජ මාධ්‍ය තුළ බහුලව දැකගත හැකියි.

ඒ දැන්වීම් නිසා ලැබෙන එක රුපියලක් වුවත් රෝගීන්ට ගෙනදෙන්නේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවකි.

නමුත් මේ අසරණකමට මුවාවී එම මුදල් කොල්ලකන වංචනිකයන් පිළිබඳ වාර්තාවන්නේ ද අද ඊයේ සිට නොවේ.

රෝගීන් ආධාර ඉල්ලා පළකරන සමාජ මාධ්‍ය දැන්වීම්වලට ප්‍රතිචාර ලෙස මේ වංචනිකයන් රෝගීන් අමතන්නේ තමන් උපකාර කිරීමට කැමති බව පවසමින්ය.

එලෙස මුදල් පිරිනැමීමට නම් වැඩිදුර විස්තර අවැසි බව පවසමින් රෝගීන්ගේ බැංකු ගිණුම් ඇතුළු සියලු විස්තර මොවුන් ලබාගනී.

ඒ අතර, මුදල් පරිත්‍යාගය තහවුරු කිරීම සඳහා අත්සන සහිත ලිපියක් ද රෝගියාගෙන් ලබාගැනීම අනිවාර්යයි.

පසුව එම ජාවාරම්කරුවන් , ඔවුන් සතු විවිධ පුද්ගල ඡායාරූප හා සැබෑ රෝගීන්ගේ විස්තර භාවිත කර ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් නිර්මාණය කරන බව වාර්තා වෙයි.

පසුව මෙම ව්‍යාජ හැඳුනුම්පත යොදාගනිමින්, වෙළෙඳසැල්වලින් රෝගියාගේ දුරකථන අංකයට නව සිම්පතක් ජාවාරම්කරුවන් මිලදීගනී.

එහිදී දුරකථන අංකයේ සැබෑ හිමිකරුවන් ලෙස පෙනී සිටිමින් දුරකථන සමාගමට ඔවුන් පවසන්නේ තම පෙර සිම්පත නැතිවූ බවය.

එතැන් සිට රෝගීන්ගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වන ජාවාරම්කරුවන් ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් කූට ලෙස මුදල් ලබාගැනීම සිදුකරයි.

මෙම ජාවාරම පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු කඩිනම් විමර්ශන ඇරඹූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය සැකකරුවන් තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිලිවලට අනුව වංචාකරුවන් සොරාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 50කට අධික බවයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 23ක තරුණියක්, එම වයසේම පසුවන තරුණයෙක් සහ අවුරුදු 47ක කාන්තාවක් ඇතුළත්ය.

ඒ අනුව අහිංසක රෝගීන් රවටමින් බොර දියේ මාළු බාන මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසයි අද දෙරණ ජනතාවට මතක් කර සිටී.