ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමට වැඩපිළිවෙළක්
February 22, 2025 09:07 pm
ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
ඇය පැවසුවේ අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවය.
එසේම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බව ද අමාත්‍යවරිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
මෙහිදී රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ ළමා නිවාස සඳහා දේශීය විදේශීය ආධාර, දෙපාර්තමේන්තුව හරහා විවිධ මාර්ග ඔස්සේ ලැබෙන මුදල් ආධාර සලකා බැලීමේදී එක් දරුවෙකු සඳහා ආසන්න වශයෙන් රුපියල් 30,000ක පමණ මුදලක් වෙන් වන බවය.
කෙසේ වෙතත් මෙම මුදල එම දරුවන් හට නිසි අයුරින් ලැබෙනවාද යන්න පිළිබඳව විගණනයක් කිරීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති බව ඔවුහු වැඩි දුරටත් පැවසූහ.
පරිවාස නිලදාරින්ගේ වැටලීම් ඔස්සේ ඇතැම් ළමා සුරැකුම් මධ්‍යස්ථාන මේ වන විට වසා දමා ඇති බවත්, මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුළ දරුවන්ට විවිධ අකටයුතුකම් සිදුවන බවටත් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට වැඩපිළිවෙලක් සකස් කරන බවය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මුදල් උපයන අමාත්‍යාංශයක් නොවන බවත්, මෙම අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය සහ ආර්ථිකමය වශයෙන් සමාජ සුභසාධනය ඉහළට ඔසවා තබන්නට දායක වන අමාත්‍යාංශයක් බවත් අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
එබැවින් ඊට වෙන් වන සියලුම මුදල් සහ ප්‍රතිපාදන සමාජ සුභසාධනය වෙනුවෙන් හැකි උපරිම අයුරෙන් යොදා ගනිමින් ජනතාවට යහපතක් කිරීම ප්‍රධාන වගකීම කරගත යුතු බව ඇය අවධාරණය කළාය.