එංගලන්තය ක්‍රිකට් වාර්තා අලුත් කරයි

එංගලන්තය ක්‍රිකට් වාර්තා අලුත් කරයි

February 22, 2025   06:51 pm

ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වාර්තාගත ඉනිමක් ගොඩනැගීමට එංගලන්තය සමත් විය.

තරගාවලියේ තෙවන තරගය ලෙස ලාහෝර්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 351ක් රැස්කළේය.

එය වසර 27ක ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ නවසීන්තය කඩුලු 4කට ලකුණු 347ක් රැස්කර තිබුණි.

මේ අතර මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් වාර්තාගත ශතක ඉනිමක් ක්‍රීඩාකිරීමට එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් ද සමත්විය.

ඔහු පන්දු 143කට පමණක් මුහුණදෙමින් ලකුණු 165ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 17ක් හා හයේ පහර 3කින් වර්ණවත් විය.

මෙය ඩකට්ගේ තෙවන එක්දින ශතකය මෙන්ම ඉහළම එක්දින ඉනිම විය.

එමෙන්ම මෙම ඉනිමද ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ  පිතිකරුවෙකු රැස්කළ ඉහළම ඉනිම මෙන්ම ලකුණු 150 සීමාව පසුකළ පළමු අවස්ථාවද විය.

මීට පෙර ඉහළම ඉනිම ක්‍රීඩාකර තිබුණේ නවසීලන්තයේ නෙතන් ඇස්ට්ලේ වූ අතර, ඔහු නොදැවී ලකුණු 145ක් රැස්කර තිබුණි.