බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්

බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්

February 22, 2025   02:18 pm

බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට එම පළාත්වල ආරක්ෂාව තහවුරුකර ඇති බව හෙතෙම සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ අධිකරණයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය මේ වනවිට පියවරගෙන ඇති බවයි.

කෙසේ නමුත් අධිකරණයෙන් පිටත ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතත්, ඇතුළත කටයුතු සඳහා පොලිස් නිලධාරීන් යොදවා නොමැති බව ඔහු මෙහිදී පැවසීය.

පෞද්ගලික ආරක්ෂක අංශයක් විසින් අධිකරණය ඇතුළත ආරක්ෂක කටයුතු සිදුකරන බවත්, ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡාකර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

වර්ථමානය වනවිට අපරාධ කල්ලි සඳහා කිසිදු දේශපාලන රැකවරණයක් නොලැබෙන පසුබිමක ඔවුන් විදෙස් රටවල සිට මෙම මෙහෙයුම් සිදුකරන බව වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

පසුගිය කාලවකවානුවේදී අපරාධ කල්ලි සඳහා දේශපාලන රැකවරණය නොමදව ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

2023 වර්ෂයේ සිට මේ වනවිට අපරාධ සිදුවීම්වල වැඩිවීමක් පෙන්නුම්කරන බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා, අපරාධකරුවන් විදේශගතව සිට පමණක් නොව බන්ධනාගාර තුළ සිටද ක්‍රියාත්මකවන බව පැවසීය.

බන්ධනාගාර තුළ සිදුකරන මෙහෙයුම්ද මේ වනවිට ඉහළනංවා ඇති බව පවසන වැඩබලන පොලිස්පතිවරයා, ගුවන් මගින් පමණක් නොව බෝට්ටු මගින්ද අපරාධකරුවන් පලායන අවස්ථා දක්නට ලැබෙන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩිකර ඇති බව මෙම මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.