හබරකඩ  කසුන්ගේ ගෝලයෙකු බස්නාහිර බුද්ධි ඒකකයට කොටු

හබරකඩ  කසුන්ගේ ගෝලයෙකු බස්නාහිර බුද්ධි ඒකකයට කොටු

February 18, 2025   04:36 pm

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ හබරකඩ කසුන් නැමැත්තාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකය සමත්ව තිබේ.

සැකකරු අම්බලන්තොට පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු මීට මාස කිහිපයකට පෙර නවගමුව ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.

එහිදී ඔහු කාන්තාවක් සමග වාසය කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු ගිණුමට මුදල් ලැබුණු පසු විවිධ ස්ථාන වෙත ගොස් අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවය.

ඒ අනුව බස්නාහිර බුද්ධි ඒකකයේ නවගමුව උප ඒකකයට ලද තොරතුරක් මත නවගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති තාරක රාජපක්ෂ මහාතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 202ක් සොයා ගැනීමට ස අදාළ ඒකකය සමත්ව තිබේ.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් රුපියල් 15,000ක් වැනි මුදලකට අලෙවි කර ඇතැයිද පොලීසිය මෙහිදී අනාවරණය කරගෙන තිබේ.

අදාළ සැකකරු හෙට (19) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී රැඳවුම් නියෝග ලබා ගැනීමට ද නියමිතය.