බීමතින් පාසලකට ඇතුළුවූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

බීමතින් පාසලකට ඇතුළුවූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

February 18, 2025   04:12 pm

බීමතින් පාසලකට ඇතුළුවී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හසිරුණු පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීයෙකු ඊයේ (17) බීමතින් පාසලකට පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට කරදර කිරීමක් සම්බන්ධව මල්ලාවි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මල්ලාවි පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. 

මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයේදී මෙම නිලධාරියා මල්ලාවි පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණය වී ඇත.

මොහු රාජකාරි යෙදී සිටියදී බීමතින් සිටීමේ වරදට හා රජයේ පාසලකට ඇතුළුවී ගැහැණු ළමුන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීමේ වරදට මල්ලාවි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (18) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

මල්ලාවි පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.