මාර්තු 21න් පසු නාමයෝජනා කැඳවන්න - විපක්ෂ නායක

මාර්තු 21න් පසු නාමයෝජනා කැඳවන්න - විපක්ෂ නායක

February 18, 2025   12:34 pm

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (18) මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් හමුවීමට පැමිණි අවස්ථාවෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය.

"විශේෂයෙන්ම අවධාරණය කළේ මේ අයවැය ක්‍රියාදාමය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් ඒ කාලවකවානුව තුළදී ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය ඉටුකරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි බැඳිලා ඉන්නවා. මාර්තු 21න් පසුව මේ මැතිවරණ වැඩසටහනට යොමුවන්න කියන කාරණය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළේ. මාර්තු 21 වනදාට අයවැය අවසාන ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒක අවසන් වුණ වාහාම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඔන්න ඔය ඉල්ලීම ඉදිරිපත් කරන් අපි කොමිසමට පැමිණියේ."  

මේ අතර පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය ලබාදීමත් සමඟ එය 2025 අංක 1 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත ලෙස බලාත්මක වු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

මෙම නව පනත සම්මත වීමත් සමඟ මැතිවරණ කොමිසන් සභාව විසින් නාමයෝජනා කැඳවිමේ දිනය ප්‍රකාශ කළ යුතු අතර එම දිනය අදාළ පනත සම්මත වී මාස 3කට පෙර දිනයක් විය යුතු වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබදව තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ පනත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය.