පෙම්වතිය බලා අවසන් ගමන් ගිය තරුණයා

පෙම්වතිය බලා අවසන් ගමන් ගිය තරුණයා

February 16, 2025   11:23 am

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසළදී මොටර් රථයක් අනතුරකට පත්වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළෙඳ නාවිකයෙකු ලෙස රැකියාව කළ අකිල සංදීප නමැති 26 හැවිරිදි තරුණයෙකි.

අනතුරින් මෝටර් රථයට මෙන්ම අධිබලැති විදුලි කණුවකටද බරපතළ හානි සිදුව ඇත.

අනතුරින් පසු බණ්ඩාරගම ප්‍රදේශ රැසකට විදුලිය විසන්දි වී ඇති අතර පැයක පමණ කාලයක් තුළදී එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයන් විසින් පියවර ගනු ලැබීය.

මියගිය තරුණයා බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටිදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

එහිදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී අඩි 15ක් පමණ වූ බෑවුමකට පෙරළී ගොස් තිබේ.

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක රියදුරන් විසින් අනතුර සිදුවනු අයුරු දැක ප්‍රදේශවාසීන් දැනුවත් කර මෝටර් රථයේ සිරවී සිටි තරුණයා රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණු නමුත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඔහු මීට දින 56කට පෙර නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර හෙට (17) දිනයේදී ඔහුගේ රැකියාවට අදාළව පෞද්ගලික සරසවියක අවසන් විභාගයට පෙනී සිටීමටද නියමිතව තිබුණි.

පොලීසිය සැක පළ කරනුයේ රිය පැදවූ තරුණයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.