හොරණ ගින්නේ අලුත්ම තත්ත්වය

හොරණ ගින්නේ අලුත්ම තත්ත්වය

February 13, 2025   10:40 pm

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ හටගත් ගින්න තවමත් දැල්වෙමින් තිබෙන බව වාර්තා වේ.

අප වාර්තාකරු පවසා සිටියේ, පස්වරුවේ හටගත් ගින්න මේ වනවිට යම්තාක් දුරට පාලනය කර ඇති බවයි.

ගින්න නිවීමේ කටයුතු සඳහා ගිනිනිවන කණ්ඩායම් 10ක් යොදවා තිබේ.

ඒ අනුව හොරණ ගිනිනිවන ඒකකයට අමතරව කළුතර, කොළඹ හා ගම්පහ ප්‍රදේශවලින්ද ගිනිනිවන රථ මේ වනවිට බොරළුගොඩ කර්මාන්ත පුරයට ගෙන්වා ඇත.

මීට අමතරව යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය ඇතුළුව සිවිල් ජනතාව ද ගිනිනිවීමේ කටයුතු සඳහා එක්ව සිටියි.

අද පස්වරු 5ට පමණ මෙම ගින්න කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක හටගත්තේය.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවේ. 

කෙසේ නමුත් ගිනිනිවීම් කටයුතු සඳහා පැමිණි එක් ගිනිනිවන භටයෙකු මුහුණදුන් අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.