වාද්දුව රත් කළ එක්දරු පියාගේ මරණය - පොලීසිය පරීක්ෂණ අරඹයි
February 12, 2025 11:08 am
වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙකු මෙලෙස මිය ගොස් ඇත.
මියගොස් ගිය තැනැත්තා රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය සඳහන් කළේය.
ඔහු නිවෙසට ගොස් සිටියදී රාත්‍රියේ ලේ වමනය කිරීමෙන් පසු රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තාගේ බිරිය වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
මියගොස් ඇති තැනැත්තාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වාද්දුව පොලීසිය සඳහන් කළේ, අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයේ යෙදෙන අතරතුර යතුරුපැදියකින් දෙදෙනකු ගමන් කර ඇති බවත් ඔවුන්ගේ ශරීරයේ තුවාල සිදුව ඇති බැවින් කිසියම් අපරාධයක් සිදුකර පළායන බවට සැකපිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පවුලේ සාමාජිකයන්ට භාරදුන් බවත්ය.
මෙයට විරෝධය පළ කරමින් ඊයේ (11) රාත්‍රියේ තල්පිටිය ප්‍රදේශවාසින් විරෝධතාවයක් පැවැත්වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණි.
තත්ත්වය පාලනය සඳහා බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිලධාරින් ද කැඳවා තිබුණි.