හෙට විදුලි කප්පාදුවක් නෑ

හෙට විදුලි කප්පාදුවක් නෑ

February 11, 2025   12:53 pm

හෙට (12) දිනය පෝය දිනයක් බැවින් විදුලි කප්පාදුවකින් තොරව දිවයින පුරා විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ සමාන්‍ය රාජකාරි දිනයකට තිබෙන ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පෝය දිනයකදී පවතින බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවය.

අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

සාමාන්‍ය රාජකාරි දිනයකදී විදුලි ඉල්ලුම මේගා වොට් 2,600ක් පමණ වන බව සදහන්ය.

නමුත් නොරෝච්චෝල බලාගාරය අක්‍රියවීමත් සමඟ මේ වන විට තාප බලාගාර සහ අනෙකුත් බලාගාර වලින් උත්පාදනය වන්නේ මෙගා වොට් 2,300ක් පමණි.

ඒ අනුව දෛනිකව මෙගා වොට් 200ක් හෝ 250ක් පමණ ප්‍රමාණයක් සැපයීමට නොහැකි බැවින් මෙම විදුලිය කප්පාදුව කිරීමට සිදුවන ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් පෝය වැනි නිවාඩු දිනයකදී අවශ්‍ය වන විදුලිය ඉල්ලුම ම‍ෙගා වොට් 2,100ක් පමණ වන බැවින් දවස පුරාම විදුලිය අඛණ්ඩව ලබාදීමේ හැකියාව පවති.

එමෙන්ම මේ වන විටත් නොරෝච්චෝල ගල්අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් සිකුරාදා (14) දිනය වන විට නිසැකවම එය ජාතික  විදුලි සැපයුම එක් කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සිකුරාදා දිනයට ප්‍රථමයෙන් නොරොච්චෝල බලාගාරයේ අලුත් වැඩියා කටයුතු සිදුකර අවශ්‍ය මෙගා වොට් 300, ජාතික පද්ධතියට එකතු කිරීමට සියළු සේවකයින් දිවා රාත්‍රී රාජකාරි කටයුතු සිදුකරන බවය.