ගබඩාවලට තවමත් වී ලැබී නෑ - වී අලෙවි මණ්ඩලය

ගබඩාවලට තවමත් වී ලැබී නෑ - වී අලෙවි මණ්ඩලය

February 10, 2025   08:15 pm

කිසිදු ගොවියෙකු මේ දක්වා වී අලෙවි මණ්ඩලය වෙත වී ලබාදී නොමැති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

ඔහු පවසන්නේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර ඇති ප්‍රදේශවල ගොවීන් විසින් සිය අස්වනු නෙලීම් ආරම්භ කර නොමැති වීම හේතුවෙන් ගබඩා වෙත වී තොග ලැබී නොමැති බවය.

කෙසේවෙතත් ඉදිරි දින 10 තුළ අදාළ ප්‍රදේශවල ගොවීන් විසින් අස්වනු නෙලීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද මංජුල පින්නලන්ද මහතා "අද දෙරණ" කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

මේ වනවිට වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා 80ක් පමණ විවෘත කර තිබේ.

මේ අතර සහල් සංචිත පවත්වා ගැනීම සඳහා වී එකතු කර ගැනීමේ අර්බුදයකට රජය මුහුණ දෙමින් සිටින බව ජාතික ගොවි ජන බල මණ්ඩලයේ සභාපති සෙනෙවිරත්න ජයවර්ධන මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එම අදහස් පල කළේය.