ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි

ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි

February 10, 2025   05:29 pm

2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6,239 වෙනුවෙන් අක්කර 9067.40ක් සඳහා රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇති බවය.

එසේම වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානී අයදුම්පත්වලට අදාළ වගා හානි මුදල් ඔවුන්ගේ ගිනුම් වෙත බැර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ වෙනුවෙන් අක්කර 4324 ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා ගොවි මහතුන් 3272 වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත බෙදා හැර ඇති බවත් එම මණ්ඩලය පවසයි.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබුණු නිර්දේශ කරන ලද වගා බිම් අක්කර 7657ක ගොවීන් 8705ක් සඳහා රුපියල් මිලියන 122ක මුදලක් අද (10) දින ගොවීන්ගේ ගිනුම්වලට බැර කිරීම සිදුවනු ඇත.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් වී, අමු මිරිස් හා අර්තාපල් යන වගාවන්ට සිදු වූ හානියට අදාළ වගා හානි වන්දි මුදල් තක්සේරු කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇතැයිද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.