කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්

කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්

February 10, 2025   05:23 pm

මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 4,959.45ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය.

ප්‍රධාන වශයෙන් සෙලින්කෝ හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල දිනය තුළ 5.98% කින් පහළ යාම මෙන්ම LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් DFCC බැංකුව සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැඩීමට වැඩි වශයෙන් හේතු වී තිබිණ.

පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සමාගම් 148ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් 52ක පමණි.

අද දින රු. බිලියන 2.07ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.99ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.96ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් අද දින රු. මිලියන 74 ක් තරම් ඉතා පහළ අගයයක් විය. 

අද දින විදේශීය විකිණුම් වාර්තා වූයේ රු. මිලියන 109ක් වශයෙනි.