විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද ? නැද්ද ?

විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද ? නැද්ද ?

February 10, 2025   11:34 am

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය.

ඊයේ (09) උදෑසන 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.

මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

විදුලි බල මණ්ඩලය විසින් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගත් අතර ඉරිදා දිනයක් වූ බැවින් විදුලි ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

පස්වරු 6 පමණ වන විට විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වුවද නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි විදුලි ජනන යන්ත්‍ර 03ම තාවකාලික විසන්ධිවීමකට ලක්විය.

එමගින් ජාතික විදුලි පද්ධතියට එක්වන මෙගාවෝට් 900ක ධාරිතාව අහිමි වීම සහ සවස 6පමණ සිට විදුලිය භාවිතය ඉහළ යාම හේතුවෙන් යළිත් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිටියේය.

කෙසේවෙතත් ජාතික විදුලි බල පද්ධතියේ පැවති එම අඩුව පියවීම සඳහා තාපබලාගාර වලින් විදුලිය ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළේය.

ඒ අනුව රාත්‍රී 9.45 පමණ වන විට දිවයින පුරා විදුලිබල සැපයුම යළි යථාතත්වයට පත්කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි විය.

කෙසේවෙතත් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් නැවතීමකට ලක්වුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 04ක පමණ කාලයක් ගත වන බව සඳහන් වේ.

ඒ අනුව විදුලි කප්පාදුවකින් තොරව විදුලි බල සැපයුම කළමනාකරණය කිරීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. 

මේ අතර දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

ජාතික විදුලි බල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලස්මක් පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කර නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව පසුගිය රජයන් හී සැලසුම් රහිත අදුරදර්ශී වැඩපිළිවෙල විදුලිය බිඳවැටීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.