ලස්සන වෙරළකට කාක දූපතෙන් තැබූ පියවර

ලස්සන වෙරළකට කාක දූපතෙන් තැබූ පියවර

February 9, 2025   10:56 pm

'ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ 'සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්' යන්න තේමා කරගනිමින් සිදුකරන වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහ අද (9) ආරම්භ කළේය.

මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරනු ලැබූ  'ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන අද දිස්ත්‍රික්ක 6ක් කේන්ද්‍ර කරගනිමින් සිදු කළේය.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලදී මෙය ක්‍රියාත්මක විය.

මේ යටතේ ගාලුමුවදොර සහ කොළඹ වරාය නගර ආශ්‍රිත වෙරළ තීරය පවිත්‍ර කිරීමත් සිදුකෙරුණි.

දෙහිවල - ගල්කිස්ස මුහුදු තීරය ද මීට සමගාමීව පිරිසිදු කළේය.

වත්තල සිට මීගමුව වෙරළ තීරය දක්වා කිලෝමීටර 20ක් දක්වා වූ කලාපය පිරිසිදු කිරීමද මෙහිදී සිදුවිය.

කළුතර දිස්ත්‍රික්කයේ උතුරු පයාගල වෙරළ තීරයේ සිට මාගල්කන්ද දක්වා වෙරළ පවිත්‍ර කිරීම ඇතුළු එම දිස්ත්‍රික්කයේ ස්ථාන 23ක මෙම වැඩසටහන ද අද ක්‍රියාත්මක කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ පවිත්‍ර කිරීමේ ප්‍රධාන වැඩසටහන දඩල්ල වෙරළ තීරය මූලික කරගනිමින් පැවැත්විණි.

එමෙන්ම උණවටුන වෙරළ තීරය ද පිරිසිදු කළේය.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීරය පිරිසිදු කිරීම මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන 43ක පවිත්‍රතා වැඩසටහන් අද ක්‍රියාත්මක කළේය.