ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය පමා වෙයි

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය පමා වෙයි

February 9, 2025   01:14 pm

පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සඳහා මෙතෙක් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ලබාදී ඇති බවය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අනුව මාසිකව මෙරට ගෑස් මිල සංශෝධනය සිදුකරන අතර එය සෑම මසකම 4 වන දින ප්‍රකාශයට පත් කිරීම සිදුවෙයි.

කෙසේවෙතත් පෙබරවාරි මාසය සඳහා වන ගෑස් මිල සංශෝධනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් "අද දෙරණ" ලිට්‍රෝ සමාගමෙන් විමසීමක් කළේය.

එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ ගෑස් මිල සංශෝධනයට අදාළ සියලු නිර්දේශ මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ලබාදී ඇති අතර අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව එය ප්‍රකාශයට පත් කළ නොහැකි බවය.

ඉදිරි සතිය තුළ ඊට අදාළ නිර්දේශ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේවෙතත් ගතවූ මාස කිහිපය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවූ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගිය ද ජනතාව දුෂ්කරතාවට පත් නොවීම සඳහා ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව පසුගිය මිල සංශෝධනවල දී ලිට්‍රෝ සමාගම පෙන්වාදුනි.

මේ අතර පෙබරවාරි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සඳහන් කළේය.