පියාඹන ලේන්නු ඇතුළු සතුන් රැසක් හසුවෙයි
February 5, 2025 10:36 pm
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ඊයේ (4) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධීව ලෙස මෙරටට රැගෙන එන ලද සුරතල් සතුන් රැසක් සොයා ගැනීමට හැකිව ඇත.
මෙලෙස හමු වූ සතුන් අතර පරෙවි, අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් මෙන්ම පියාඹන ලේනුන් (Flying squirrels)ද සිටින බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරකට අනුව, එම ආයතනය සහ මන්නාරම කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.
ඒ අනුව මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂා කිරීමේදී මෙම සතුත් හමුව ඇත.
එම ලොරි රථයේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ පරෙවියන් 220ක්, අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් 20ක් මෙන්ම පියාඹන ලේනුන් 08 දෙනෙකුට සොයාගත් බව නාවික හමුදාව පවසයි.
මීට අමතරව මෙම ලොරි රථයේ තිබී ඖෂධ පෙති 230ක් සහ ඖෂධ දියර අඩංගු බෝතල් 40ක්ද සොයාගැනීමට හැකිව ඇත.
ඒ අනුව ලොරි රථය සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 25 ත් 44ත් අතර වයසේ පසුවන දඹුල්ල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සතුන්, ලොරි රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.