ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්

ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්

February 5, 2025   08:46 am

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය ටොෆි සහ චොකලට් ඇසුරුම් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස  සඟවා ගෙන රැගෙන ඒමට උත්සාහ කර තිබුණි.

මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ  45 හැවිරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවි සැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි.

ඔහු සතුව තිබී කුෂ්  මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 40ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විස්කි බෝතල් 88 ක්  තීරු බදු නොගෙවා, කටුනායක ගුවන් තොටුපොළ  ඔස්සේ දිවයිනට ඇතුළු වීමට උත්සාහ කළ තවත්  ඉන්දීය ජාතිකයෙක්  ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 42 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

ඔහු සතුව තිබී  ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර 19 ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට හමුව තිබුණි.