විදෙස් තරුණියගේ මරණයට හේතුව ?
February 2, 2025 07:36 pm
කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටි විදේශීය කාන්තාවක් හදිසියේ අසනීප වී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි.
විෂ වායුවක් ආඝ්‍රහණය වීම මෙම මරණයට හේතුව බවට මේ වන විට සැක පළවී ඇත.
කොල්ලුපිටිය, මුහන්දිරම් මාර්ගයේ පිහිටි අදාළ නවාතැන්පොළේ කාමරයක වයස අවුරුදු 30ක ජර්මානු ජාතිකයෙකු, අවුරුදු 27ක ජර්මානු තරුණියක් සහ 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් නවාතැන් ගෙන සිට තිබේ.
ඊයේ (01) පෙරවරුවේ මෙම විදේශිකයින් තිදෙනාට වමනය සහ ක්ලාන්තය වැනි රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජර්මානු ජාතික යුවළ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතරතුර ඊයේ පස්වරු 7.30ට පමණ 24 හැවිරිදි එංගලන්ත ජාතික තරුණියගේ ද රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද එහිදි ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජර්මානු ජාතික යුවළ ද හදිසි ප්‍රතිකාර අංශයට මාරු කර ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
පසුගිය ජනවාරි 30 වනදා, අදාළ විදේශිකයින් තිදෙනා නවතැන් ගත් කාමරයට යාබද කාමරයක් දින 3ක් සඳහා මකුණන් මර්දනයට යොදාගන්නා ෆොස්ෆීන් නමැති වායුව යොදා ගනිමින් ධූමායනය කර තිබුණි.
ජීවිතක්ෂයට පත් 24 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණියගේ දේහය මේ වනවිට ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඇයගේ පවුලේ ඥාතීන්ව දැනුවත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂක නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ද කැඳවා තිබේ.
මේ අතර, මෙම සිද්ධියෙන් පසු අදාළ නවාතැන් පොළේ සිටි විදේශිකයින් පිරිසක් ඉන් ඉවත්ව යන ආකාරයද දක්නට ලැබුණි.