නව රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැසසුම්

නව රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැසසුම්

January 29, 2025   03:27 pm

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (28) අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ දී මේ බව පවසා ඇත. 

මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතා වැදගත් වැඩසටහන් පෙළක් දැනටමත් පෙලගස්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය එහිදී ඔහු ඉල්ලා තිබේ. 

ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුුළුව, කාළගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ඒ අතර වෙයි.

නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබාදීමට සූදානම් බව ද නිත්‍ය නියෝජිතවරයා මෙම සාකච්ඡාවේ දී විජිත හේරත් අමාත්‍යවරයාට දන්වා ඇත.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම නිත්‍ය නියෝජිතවරයා පැහැදිලි කළ අතර ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවත් ඒ සඳහා මූල්‍ය ආධාර ලබාදීමට මැදිහත්වීමටත් නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්ගියා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘෘ මහතාගේ ප්‍රශංසාවට ලක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා දැනුම් දී ඇත.

ඉදිරි කාලයේ දී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව ඉතා ඕනෑකමින් සොයා බලන බවට හෙතෙම පොරොන්දු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවලින් ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහ යහපැවැත්මට සිදු කරන සේවය රජය බෙහෙවින් අගය කරන බවද විජිත හේරත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.අ