වසන්ත කරන්නාගොඩගේ පෙත්සම විභාග කිරීම කල්යයි
January 28, 2025 06:28 pm
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා අද (28) එම නඩු විභාගයෙන් ඉවත් විය.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්රදේශවල තරුණයින් එකොළොස්දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම්කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් පෙත්සමක් ගොනු කර තිබුණි.
එම පෙත්සම අද මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කළේ තමන් මෙම නඩුවේ විභාගයෙන් ඉවත්වන බවය.
මෙම නඩුවට අදාළව විනිසුරු අමල් රණරාජා මහතා මීට පෙර නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන බැවින් ඔහු මෙම නඩුවේ විභාගයෙන් ඉවත්වන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මායාදුන්නේ කොරයා මහතා ප්රකාශ කළේය.
ඒ අනුව, අදාළ නඩුව නව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ මස 31 වන දා කැඳවීමට නියමිතය.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා ප්රකාශ කරයි.
එබැවින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.