2023 - 2024 වසරවල වනඅලි මරණ ගැන විශ්ලේෂණයක්
January 28, 2025 05:07 pm
2023 වසරට සාපේක්ෂව, 2024 වර්ෂය තුළ වනඅලි මියයාම් පහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනඅලි මරණ අවම කරගැනීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ආරම්භ කළ වැඩසටහන් ඔස්සේ මෙලෙස වනඅලි මරණ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි වු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව 2024 වර්ෂය තුළ වනඅලි මරණ 388ක් වාර්තා වු අතර 2023 වර්ෂයේ දී එම මරණ සංඛ්‍යාව 488ක් ලෙස දැක්විය.
පසුගිය වසරේ වනඅලි මරණ අතරින් වැඩි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවී කලාපයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 81ක් බව සඳහන් වේ.
එමෙන්ම පොළොන්නරුව වනජීවී කලාපයෙන් වනඅලි මරණ 78ක්, අනුරාධපුර වනජීවී කලාපයෙන් මරණ 53ක් සහ ඌව වනජීවී කලාපයෙන් මරණ 43ක් වශයෙන් වාර්තා වී ඇත.
වෙඩි තැබීම් වලින් මරණ 84ක්, විදුලි සැර වැදීමෙන් මරණ 56ක්, හක්කපටස් ආහාරයට ගැනීමෙන් මරණ 52ක් ඇතුලු විෂ ශරීර ගතවීම්, දුම්රිය අනතුරු, මාර්ග අනතුරු , වගා ළිංවලට වැටීම් වැනි විවිධ අනතුරු හේතුවෙන් වනඅලි මරණ වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2024 වර්ෂය තුළ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 155ක් වාර්තා වී තිබේ.
නැගෙනහිර සහ අනුරාධපුර වනජීවි කලාප වලින් ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
මේ අතර මේ වසරේ ජනවාරි මස ගතවු දින කිහිපය තුළ වනඅලි මරණ 16ක් සිදුව තිබේ.
ඉන් වැඩි සංඛ්‍යාවක් වෙඩි තැබීම් හේතුවෙන් සිදුව ඇති අතර එම සංඛ්‍යාව 05ක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.