2024 වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු

2024 වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු

January 26, 2025   03:25 pm

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම්කර තිබේ.

කමිඳු 2024 වසර තුළ පිතිකරුවෙකු ලෙස ඉහළ සාර්ථකත්වයත් අත්කරගත් හෙයින් මෙම ගෞරවාදරය ඔහුට හිමිව ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2024 වසරේදී ඔහු ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 යන සෑම තරග රටාවක්ම ක්‍රීඩාකළ අතර, එහිදී ලකුණු 1,451ක් රැස්කිරීමට ඔහු සමත් විය.

එහි ඉනිම සාමාන්‍ය  50ට වඩා වැඩිය.

කෙසේ නමුත් කමිඳුගේ දක්ෂතා වැඩි වශයෙන් ටෙස්ට් පිටියෙන් ඉස්මතු විය.

ගෙවුණු වසරේ ඉහළම අවධානයකට ලක් වූ ටෙස්ට් පිතිකරුවෙකු වන කමිඳු, එම වසරේදී ටෙස්ට් තරග 9ක ඉනිම් 16ක ක්‍රීඩාකර ලකුණු 1,049ක් රැස්කිරීමට සමත් විය.

කමිඳුගේ දක්ෂතා අතර ශතක 5ක් හා අර්ධ ශතක 3ක් විය.

එහි පිතිකරණ සාමාන්‍ය 74.92කි.

එමෙන්ම ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව පසුගිය වසරේ පිතිකරුවෙකු රැස්කළ 5වන ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය.

2024 වසරේදී ලකුණු 1000ට වඩා රැස්කර ඇත්තේ ද පිතිකරුවන් 6 දෙනෙකු පමණක් වන අතර, ඔවුන්ගෙන් ඉනිමක හොඳම පිතිකරණ සාමාන්‍ය ඇත්තේ කමිඳුට වීම විශේෂත්වකි.

කමිදු 2024 වසරේ ICC ටෙස්ට් කණ්ඩායමටද ඇතුළත්ව සිටියි.