ආනයනික පළමු ලුණු තොගය අනිද්දා දිවයිනට
January 25, 2025 06:49 pm
රට තුළ ලුණු හිඟයක් වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවෙන් ආනයනය කරන පළමු ලුණු තොගය ලබන 27වනදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් පළමු තොගය ලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග රට තුළ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබු අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඊට අදාළව ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා තිබුණි.
ඒ අනුව ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබු අතර ජනවාරි 31වන දින වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,450ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබු බව සඳහන්ය.
කෙසේවෙතත් ලබන 27වනදා වන විට ඉන් මෙට්‍රික් ටොන් 4,500ක තොගයක් පමණක් මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට කිසිසේත් ඉඩලබා නොදෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ මෙම දිනවල ඇතැම් වී මෝල් හිමියන් වැඩිමිලට වී මිල දී ගෙන පාලන මිල සහල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවය.
එවැනි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව අසේල බණ්ඩාර මහතා කියා සිටියේය.