නොමාන්ගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක් ‍

නොමාන්ගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක් ‍

January 25, 2025   01:48 pm

ටෙස්ට් තරගයකදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු දඟපන්දු යවන්නා ලෙස නොමාන් අලි අද (25) ඉතිහාස ගතවිය.

බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව මුල්ටාන්හිදී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේදී ඔහු මෙම ඓතිහාසික වාර්තාව පිහිටුවීය.

කොදෙව් ඉනිමේ 12වන පන්දුවාරය යොමුකළ නොමාන් අලි  ජස්ටින් ග්‍රීව්ස්, ටෙවින් ඉම්ලාච් හා කෙවින් සින්ක්ලෙයාර් දවාගනිමින් කඩුලු ත්‍රිත්ව වාර්තාවට හිමිකම් කීය.

ඔහු පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගත් 6වන ටෙස්ට් පන්දු යවන්නා ද වෙයි.

පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවස්ථා 6කදී කඩුලු ත්‍රිත්ව වාර්තා වී ඇති අතර, ඉන් 4ක් ශ්‍රී ලංකාවට එරෙහිව පිහිටුවා තිබීම විශේෂත්වයක්ය.

ඉන් අවස්ථා 2කට වසිම් අක්‍රම් හිමිකම් කියයි.

ඔහු පාකිස්තානය වෙනුවෙන් පළමුවෙන්ම කඩුලු ත්‍රිත්වයක් දවාලූ පන්දු යවන්නා වන අතර, එය 1999 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පිහිටුවීමට සමත්ව ඇත.

එමෙන්ම නොමාන් මෙම දස්කම දක්වන විට වයස අවුරුදු 38යි දින 110ක් විය.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවන වයස්ගතම ක්‍රීඩකයා ලෙස ද නොමාන් වාර්තා අතරට එක්විය.

මෙහි පෙරමුණගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ රංගන හේරත් වන අතර, ඔහු 2016 වසරේදී ඔස්ට්‍රේලියාවේ එරෙහිව එම දස්කම දක්වන විට වයස අවුරුදු 38යි දින 139ක් විය.

ඒ අනුව නොමාන් හා හේරත් අතර වෙනස දින 29කි.