පොලිස් සිරමැදිරියේ මියගිය කාන්තාව ගැන කරුණු රැසක්
January 22, 2025 05:54 pm
මරදාන පොලිස් ස්ථානයේ කාන්තා සිරමැදිරිය තුළ කාන්තාවක් ගෙලවැළලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන තෙක් එම කාන්තාවගේ දේහය පොලිස් මෘත ශරීරාගාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (22) නියෝග කළාය.
වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඇය අද (22) අළුයම සියදිවි හානිකරගෙන මරණයට පත් වූවාය.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නිකුලම් අරම්කඩේ, අම්බාලපුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ය.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට වරෙන්තු මත පෙරේදා (20) රාත්‍රියේ මරදාන පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි අයෙකු වන අතර, ඇඳසිටි තම සාය සිරමැදිරියේ යකඩ දොර මත ගැටගසා මෙම මරණකාරිය ගෙලවැළලාගෙන ඇති බව මරදාන පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
කෙසේ නමුත් ඇය එල්ලීසිටි ආධාරක ඇඳුම් කපා ඉවත් කර, කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද මරදාන පොලීසිය විසින් වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබේ.
කෙසේ නමුත් ජාතික රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මරණයට පත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක්ද අද (22) මහෙස්ත්‍රාත්වරිය සිදු කළාය.