ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

January 19, 2025   05:23 pm

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි වික්ටර් අයිවන් මහතා ගාල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මිය යනවිට ඔහු 75වැනි වියෙහි පසුවිය.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී හෙට (20) සිදු කිරීමට නියමිතව ඇත.

මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වැනිදාය.

අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය 71 කැරැල්ලට ලබාදුන්නේ පොඩි අතුල ලෙස පෙනී සිටිමිනි. 

71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන් ලෙස දක්නට ලැබුණි.

දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසින්ය. 

එහි කුටප්‍රාප්තිය ඔහු රාවය සඟරාව සහ පුවත්පත් ආරම්භ කිරීමයි. 

රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොභියව ඔහු සිය පැන හැසිරවූ අයුරු අසමසම වනවා. 

ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු රාවය පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වන මාතෘකාවක්. 

ඍජු ගවේෂණාත්මක වාර්තාකරණය නිසාම ලංකාවේ වැඩිම අපහාස නඩු සඳහා මුහුණදීමට සිදුවු මාධ්‍යකරුවා ලෙස වික්ටර් අයිවන් ඉතිහාසගත වනවා. 

සාපරාධී අපහාස නීතිය යටතේ මෙරට මාධ්‍යවේදීන්, රාජ්‍ය තන්ත්‍රයෙන් බැටකමින් සිටියදී ඊට එරෙහිව හඩ නගමින් එම නීතිය ඉවත් කිරීම සඳහා වික්ටර් අයිවන් මහතා විචක්ෂණශීලිව ක්‍රියා කළේය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස පමණක් නොව ගත් කතුවරයෙක් ලෙසත් මහත් සමාජ මෙහෙවරක් කළ ඔහු පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්‍රන්ථ රැසක්රචනා කළේය.

ඒ අතරින්  චෞර රැජින ග්‍රන්ථය දැඩි කතාබහකට ලක්වූවකි.