දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

January 18, 2025   09:50 am

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී සිටියි.

හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන් සුක් යෝල්  ධුරයෙන් පහ කළේය.

කෙසේ නමුත් ඉන් පසුව දකුණු කොරියාවේ දේශපාලන අර්බුදයක් උද්ගත විය.

අනතුරුව රජයට එරෙහිව කැරළිගැසූ බවට නඩු විභාගයක් ආරම්භ කළේය.

කෙසේ නමුත් එම නඩු විභාගය කැඳවූ අවස්ථා තුනකදීම යුන් සුක් යෝල් එය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය.

මේ හේතුවෙන් යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන් සෝල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස විරෝධතාවේ නිරතව සිටියි.

දකුණු කොරියානු විපක්ෂයට සහ එරට අධිකරණ පද්ධතියට යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන්ගෙන් මෙහිදී දැඩි විරෝධයක් එල්ල වී ඇත.

දහස් ගණනක විරෝධතාකරුවන් හේතුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්වූ බවට පැවසු යුන් සුක් යෝල් මුලදී අවධාරණය කළේ විමර්ශන සඳහා සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වුවද ඔහු මෙතෙක් විමර්ශන සඳහා සහාය දක්වා නොමැති අතර ප්‍රශ්න කිරීම්වලදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සඳහන්.