ඉබිගමනින් යන බහාලුම් නිෂ්කාශනයේ අද තත්ත්වය

ඉබිගමනින් යන බහාලුම් නිෂ්කාශනයේ අද තත්ත්වය

January 16, 2025   07:27 pm

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබුණද, තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බව වාර්තා වේ.

මෙම ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල අද (16) පස්වරුවේත් දිගු පෝලිම් නිර්මාණය වී තිබෙන අයුරු දැකගත හැකිවිය.

කෙසේ වෙතත් ඉකුත් 12වනදා ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, ශ්‍රී ලංකා රේගුව හා වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල නියෝජිතයන් කැඳවා මෙම ගැටලුව පිළිබඳ පැවැත් වූ සාකච්ඡාවේදී නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රේගු නිලධාරින් දින 7ම පැය 24ම රාජකාරි කිරීමට සිය එකඟතාව පළ කළේය.

මෙම සාකච්ඡාවේදී සෑම දිනකම බහාලුම් නිෂ්කාශනය වූ අයුරු මාධ්‍යට මුදාහරින ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව අද (16) පෙ.ව. 6.30න් අවසන් වූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්ත තුළින් බහාලුම් 1615ක් මුදාහැර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහලුම් ප්‍රමාණය 1,337කි.

කෙසේ වෙතත් ගත වූ පැය 24 ඇතුළත වරාය තුළ සිර වූ බහාලුම්වලින් යම් ප්‍රමාණයක් මුදාහැරීමට වරාය රේගුව ඇතුළු අංශ කටයුතු කරමින් තිබුණ ද, පර්යන්තවලින් පිට වූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිට වී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය තවමත් අඩු වී නැති බව වාර්තා වේ.