ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ?

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ?

January 15, 2025   10:55 pm

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 15ක් පුරා ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාව මත මෙම තීරණයට පැමිණ ඇති බවයි.

ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 7වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම මෙම යුද්ධයේ ආරම්භය විය.

එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන්  1,200ක් පමණ මිය ගියේය.

එමෙන්ම තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන ගියේය.

කෙසේ නමුත් එම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ද "අපට ප්‍රාණ ඇපකරුවන් සඳහා ගිවිසුමක් ඇති වී ඇති බවත්, ඔවුන් ඉක්මනින් නිදහස් කරනු ඇති" බවත්ය.

මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරනු ඇති බව සඳහන්.