දැරිය පැහැරගත් ප්‍රධාන සැකකරුට අද දුන් නියෝගය
January 15, 2025 09:28 pm
ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
සැකකරුවන් අද (15) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
පසුගිය 11වනදා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම දැරිය පැහැරගෙන යනු ලැබීය.
ඒ අනුව ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සඳහා දවුලගල පොලිස් ස්ථානය සහ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 13වනදා අම්පාර නගරයේදී මෙම පැහැරගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.
එමෙන්ම පැහැරගැනීමට ලක් වූ දැරියද නිරුපද්‍රිතව පොලිස් භාරයට ගැනිණි.
ඉන් අනතුරව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකිවිය.
මෙම පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබූ අතර, පසුව එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මේ වනවිට පැහැරගැනීමට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු, අධිකරණය වෙත ඉදිරිපත් කර දෙමාපිය භාරයට පත් කර ඇත.
දවුලගල පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.