ගල්කිස්සේ වෙඩිතැබීමට සැකකරුවන් 4ක් කොටුවෙයි
January 15, 2025 09:12 pm
ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී පසුගිය 07 වනදා වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද (15) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට සම්බන්ධ යතුරුපැදිය රැගෙන යන ලද පුද්ගලයා, එය රැගෙන යාමට ආධාර අනුබල දුන් පුද්ගලයා ය.
එමෙන්ම අපරාධකරුවන්ට අවශ්‍ය ආරක්ෂිත හිස් වැසුම් හා ජැකට් කළුබෝවිල බෝධියවත්ව ප්‍රදේශයට රැගෙන ගිය පුද්ගලයා සහ එම ආරක්ෂිත හිස්වැසුම් හා ජැකට් දෙසැම්බර් මස 28 වනදා සිට ජනවාරි මස 05 වනදා දක්වා ළග තබාගෙන සිටිමින් ජනවාරි මස 05 වන දින රාත්‍රීයේදී කොට්ටාව පිළියන්දල 255 මාර්ගයේ පාළු ස්ථානයට රැගෙන යමින් අපරාධයට ආධාර අනුබල දුන් පුද්ගලයාද අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා 28, 27, 21, සහ 17යන වයස්වල පසුවන වැල්ලවත්ත, බොරැල්ල, කළුබෝවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉකුත් 07 වනදා අලුයම් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ වටරප්පල පාර ප්‍රදේශයේ පදිංචි සුගත් ගෝමස් සහ සඳුන් පීරිස් යන දෙදෙනාව වෙඩිතබා මෙම ඝාතනය සිදුකර තිබුණි.
එම ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය එදිනම හොරණ පොලිස් වසමේ දමාගොස් තිබියදී හොරණ පොලීසිය විසින් සිය භාරයට ගෙන ගල්කිස්ස පොලීසියට භාරදී තිබුණි.
මෙම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ අපරාධය සඳහා යොදා ගන්නා ලද යතුරුපැදිය ඉකුත් 06 වනදා බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ සිට කොට්ටාව පිළියන්දල 255 මාර්ගයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් භාරදී තිබූ බවය.
බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙයි.