සයුරෙන් එතෙර
මහා කුම්භමේලා උත්සවයේ ආරක්ෂාව සැපයෙන අයුරු
January 14, 2025 04:01 pm
මිලියන 400 ඉක්මවූ හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මිනිස් ඉතිහාසයේ විශාලතම මහජන ඒකරාශීවීම ලෙස වාර්තා අතරට එක්වීමට නියමිත මහා කුම්භමේලා ආගමික උත්සවය ඊයේ ඉන්දියාවේ ප්රයාග්රාජ් හිදී ආරම්භ වුණි.
දින 45ක් පුරා මෙම හින්දු ආගමික උත්සවය පැවැත්වෙයි.
එලෙස පැමිණෙන බැතිමතුන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ප්රයාග්රාජ් හි වෙන්කර ඇති හෙක්ටයාර 4,000ක භූමියේ තාවකාලික නවාතැන්පොළ ලක්ෂයක් ඉදිකර ඇත.
උත්සවයේ ආරක්ෂාව තර කිරීම ඉන්දියාවට දැනටමත් අභියෝගයක් වී ඇති අතර ඒ සඳහා ආරක්ෂක නිලධාරීන් ලක්ෂයක්, කෘත්රිම බුද්ධි තාක්ෂණයෙන් යුතු කැමරා මෙන්ම දිය යටින් ගමන් කළ හැකි ඩ්රෝනවල පවා සහාය ලබාගෙන තිබේ.
හින්දු පුරාවෘත්තවලට අනුව දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයකදී අමෘතය බිඳිති විසිරුණු බවට සැලකෙන උතුරු ඉන්දියාවේ ස්ථාන 4ක වසර 3කට වරක් කුම්භමේලා උත්සව පැවැත්වෙයි.
කෙසේ වුවත් මහා කුම්භමේලා උත්සවයක් පැවැත්වෙන්නේ වසර 12කට වරක් පමණයි.
ඒ ශුද්ධ වූ ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නම් මනංකල්පිත ගංගා ත්රිත්වය එකිනෙක හමුවෙතැයි විශ්වාස කෙරෙන, සංගම් නම් ස්ථානය ඇති ප්රයාග්රාජ් හිදී ය.
සංගම් හි ස්නානය කිරීමෙන් පව් ක්ෂමා වී, ආත්මය පවිත්ර වී, ඉපදීමේ චක්රය අවසන් කර මුක්තිය ලබාගැනීම හැකිවෙතැයි හින්දූන්ගේ විශ්වාසයයි.
මෙවර මහා කුම්භමේලා උත්සවයේ පළමු ස්නානය වන පවුෂ් පූර්ණිමා ස්නානය ඊයේ සිදුකෙරුණි.
ඒ, මිලියන 16.5 ඉක්මවූ පිරිසකගේ සහභාගිත්වයෙනි.
නිරුවතින් අළු තවරාගෙන උත්සවයට එක්වන හින්දු පූජකවරුන් එනම් නාගා සාධූවරුන් එක්වන උත්සවයේ පළමු ප්රධාන ස්ථානය වන මකර් සංක්රාන්ති උත්සවය අද පැවැත්වීමට නියමිතය.
ඊට සහභාගිවෙතැයි අපේක්ෂිත පිරිස මිලියන 20 ඉක්මවයි.