ගින්නෙන් ගැලවුණ විස්මය - මියගිය ගණන තවත් ඉහළට

ගින්නෙන් ගැලවුණ විස්මය - මියගිය ගණන තවත් ඉහළට

January 13, 2025   12:52 pm

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී තිබේ.

ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ.

ඒ අනුව මේ වනවිට ඉන් මියගොස් ඇති පිරිස 24 දක්වා ඉහළ ගොස් ඇති අතර බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය කලාපයෙනි.

අක්කර 40,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක පැතිර ගිය ලැව්ගින්නෙන් හානි වී හෝ විනාශ වී ඇති ගොඩනැගිලි ගණන 12,000 ඉක්මවයි.

ඒ අනුව මේ වනවිට ගණන් බලා ඇත්තේ. මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන බවය.

මෙවන් පසුබිමක බදාදා දිනය දක්වා පැයට කිලෝමීටර 96ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.

මේ අතර පැසිෆික් පැලිසේඩ් ලැව්ගින්නෙන් මාලිබූහි පැසිෆික් වෙරළාසන්නයේ පිහිටි සෑම ගොඩනැගිල්ලක්ම පාහේ විනාශ වූ පසුබිමක ලැව්ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවූ ඩොලර් මිලියන 9කට ආසන්න වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවසක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.