කප්පම් ඉල්ලා පාසල් සිසුවියක් පැහැර ගනියි
January 12, 2025 04:22 pm
ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණියක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමග දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (11) පෙ.ව. 7.15ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර ඇත.
සිසුවිය පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින තරුණයා පළමුව රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.
කෙසේ නමුත් පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇත.
අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු, ලක්ෂ 02ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබේ.
එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50,000ක මුදලක් අදාළ ගිණුමට බැරකර ඇත.
පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිසුවිය පාසල් නිල ඇදුමින් සැරසී මිතුරිය සමග පංතියට යමින් සිටියදී, ඔවුන් එන අතරමග නතර කර තිබෙන වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා අයුරු CCTV කැමරාවල පැහැදිළිව සටහන්ව තිබේ.
එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා වෑන් රථයේ එල්ලී මීටර් 500ක පමණ දුරක් ගමන්ගෙන තිබෙන අතර, ඔහුට පහර දී බිම දැමීමට සැකකරු සමත්ව ඇත.
එමෙන්ම ඒ ආසන්නයේ තිබූ යතුරුපැදියකින් කිලෝ මීටර් 20ක පමණ දුරක් පාසල් ගුරුවරයෙකු වෑන් රථය ලුහුබැඳ ගොස් තිබේ.
කෙසේ නමුත් කටුගස්තොට නගරයේ දී ඔහුට වෑන් රථය මගහැරී ඇත.
පසුව අදාළ වෑන් රථය පොළොන්නරුව නගරය ආසන්නයේ අතහැර දමාගොස් තිබියදී පොලීසිය ඊයේ (11) පස්වරුවේ සොයා ගෙන තිබේ.
මෙම පැහැරගැනීම සිදුකළ වෑන් රථය වාහන කුළියට ලබාදෙන ස්ථානයකින් ලබාගෙන තිබූවක් වන අතර, එහි සවිකර තිබූ GPS තාක්ෂණ උපාංගයෙන් වෑන් රථය සොයා ගැනීම පහසු වූ බව පොලීසිය පවසයි.
සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අතහැර දමා යළි නිවසට පැමිණෙමින් සිටියදී දවුලගල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
19 හැවිරිදි සිසුවිය සැකකරුගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත්, සැකකරු පැහැරගැනීමට ලක් වූ තරුණිය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිසුවියගේ පාර්ශවය පවසන්නේ කලක් ජපානයේ රැකියාවක් කර තිබෙන සැකකරු මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවයි.
මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අනාවරණයක් කරගත හැකි වන්නේ සිසුවිය සොයා ගැනීමෙන් පසු ඇය ලබාදෙන ප්‍රකාශය අනුව බව පොලීසිය පවසයි.