බාස්මතී කියා ඔබ මිලදී ගන්නෙත් මෙම සහල් ද ?
January 10, 2025 07:17 am
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරතවන පිරිසක් පිළිබදව තොරතුරු 'අද දෙරණට' වාර්තා විය.
ඒ පිළිබද අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ බාස්මතී සහලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර, බාස්මතී සහල් ලෙස වෙළෙඳපොළ තුළ අලෙවිකරණ බවයි.
බාස්මති සහල් ඕනෑම අවස්ථාවක මෙරටට ආනයනය කළ හැකි අතර, සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300කට වැඩි බදු මුදලක් පනවා තිබේ.
එහෙත් මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර සීමාව තුළ අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් මෙලෙස කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු මුදලක් ගෙවා මෙරටට ආනයනය කර වැඩි මිලට අලෙවිකිරීම සිදු වේ.
මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ මෙරටට පැමිණෙන සහල් තොගවල සාම්පල පරික්ෂාව සඳහා යොමුකිරිමේදී පමණක් ඒවා බාස්මතී සහල් නොවන බවට හදුනාගැනෙන බවයි.
මේ පිළිබද පියවර ගැනීමට කිසිදු නෛතික බලයක් රේගු දෙපාර්තමේන්තුවට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් බලය පවතින්නේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.