පේපරේ පිටවී විභාගයක් කල් දමයි
January 7, 2025 09:31 pm
උතුරු මැද පළාත් පාසල්වල 11 වැනි ශ්‍රේණියේ 03 වැනි වාර පරීක්ෂණ විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ, වාර විභාගයේ එම ශ්‍රේණියේ අද (07) සහ හෙට (08) පැවැත්වීමට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍ර ද පිටවී ඇතැයි හෙළිවීමත් සමඟය.
පාසල්වල 2024 තෙවන වාර පරීක්ෂණ පළාත් මට්ටමින් මේ දිනවල පැවැත්වෙන අතර එවන් පසුබිමක උතුරු මැද පළාතේ පාසල් දරුවන් සඳහා ලබාදීමට නියමිත වූ ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීමේ සිදුවීමක් ඊයේ (06) වාර්තා වුණි.
එලෙස ඊයේ දිනට යෙදී තිබුණු 11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය හරහා පිටවී ඇති බවට තොරතුරක් ලැබී තිබුණේ පෙරේදා (05) මධ්‍යම රාත්‍රියේ ය.
ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත් අතර දරුවන්ට යළි නිවෙස් කරා යාමට සිදුවුණි.
මේ අතර එම ශ්‍රේණියේම අද සහ හෙට පැවැත්වීමට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍ර ද පිටවී ඇතැයි අනාවරණ වීමත් සමග උතුරු මැද පළාත් 11 ශ්‍රේණිය වාර පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඊයේ රාත්‍රියේ පියවර ගත්තේය.
මේ අතර ප්‍රශ්න පත්‍ර පිටවීම පිටුපස නිලධාරී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය අද චෝදනා කළේය.
උතුරු මැද පළාත් 6 සහ 7 ශ්‍රේණි භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද මෙලෙසම විභාගයට පෙර පිටවී තිබූ බව එම සංගමය හෙළිකරයි.