උකුස්සා හෙළිකළ කළුගඟ ඉස්මත්තේ ජාවාරම
January 5, 2025 08:31 pm
හොරණ වගවත්ත ප්‍රදේශය කළුගඟ අසළ පිහිටා තිබෙන ස්වභාවික සම්පත්වලින් අනූන වූ භූමි ප්‍රදේශයක්.
එය කෙතරම් සුන්දර වුවත් එහි ඇති ස්වභාවික සම්පත්වල වටිනාකම් පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඉතා අවිධිමත් අයුරින් සිදුකරන පස් ජාවාරමක් සම්බන්ධයෙන් 'අද දෙරණ උකුස්සාට' තොරතුරු අනාවරණ විය.
පසුව 'අද දෙරණ උකුස්සා', භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද සමඟ එම භූමි ප්‍රදේශය පිහිටා ඇති හොරණ වගවත්තට ගියේ මෙම ජාවාරම එය සිදුවන අවස්ථාවේදීම නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහාය.
ඒ අනුව අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයේ එක් කොටසකට ඇතුළුවන විට අපට දක්නට ලැබුණේ ඉතා විශාල පස්කඳු එහි ගොඩගසා ඇති ආකාරයයි.
එහිදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින් අදාළ පිරිසේ කැණීම් බලපත්‍රය පරීක්ෂා කළ විට අනාවරණ වුණේ මැණික් ගැරීම සිදුකර අදාළ වළවල් එම පස් මගින්ම වසා දැමිය යුතුයි යන කොන්දේසිය මුල් කරගනිමින් ඔවුන්ට මැණික් ගැරීම සඳහා පමණක් බලපත්‍රයක් ලබාදී ඇති බවයි.
නමුත් මෙම කොන්දේසි දැඩිව උල්ලංඝනය කරමින් මැණික් ගැරීම සඳහා විශාල වළවල් කපා, ඉන් එකතුවන පස් හොර රහසේ විකිණීමේ ජාවාරමක අදාළ පිරිස නිරතවන බව දක්නට ලැබුණි
ඒ අනුව ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව අප කණ්ඩායම ඒ අසළ පිහිටි තවත් එවැනිම ආකාරයේ කැණීම් ප්‍රදේශයකට ගියේ මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකහැර දැනගැනීම සඳහාය.
අප එම ස්ථානයට ළඟාවන විටත් පිරිසක් කපන ලද පස් විකිණීම සඳහා සූදානම් කරමින් සිටියේ අපගේ සියලු අනුමාන තහවුරු කරමින්ය.
එම ස්ථානය පරීක්ෂා කිරීමේ තවදුරටත් දක්නට ලැබුණේ මැණික් ගැරීමේදී අතුරු ඵලයක් ලෙස හමුවන ඉතා අධික වටිනාකමකින් යුත් ඉල්මනයිට් ද මෙම පිරිස මෙලෙස විකුණන බවයි.
එකතුවන පස් නීති විරෝධි අයුරින් විකිණීම නිසා මැණික් කැණීමෙන් නිර්මාණය වූ මීටර් 15ක පමණ ඉතා ගැඹුරු වළවල් මෙම භූමියේ පැවතියේ මෙම නීති විරෝධි ක්රියාවේ බරපතළකම මොනවට කියාපාමිනි.
ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන හොරණ පොලීසියට ඉදිරිපත් කෙරුණි.
පරිසරය විනාශ කරමින්, මිල කළ නොහැකි ස්වභාවික සම්පත්වලට හානි කරන මෙවැනි ක්‍රියා තවදුරටත් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා 'අද දෙරණ උකුස්සා' සීරුවෙන්.