දැයෙන් සමුගත් සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !

දැයෙන් සමුගත් සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !

December 27, 2024   08:03 pm

සිය අනන්‍ය හඬ පෞරුෂයෙන් ශ්‍රී ලාංකීය රසික හදවත් අමන්දානන්දයට පත්කළ අග්‍රගණ්‍ය ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීය.

සිය අනන්‍ය හඬ පෞරුෂයෙන් මෙරට ගායන ක්ෂේත්‍රයේ අගග්‍රණ්‍ය සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වැනිදා අභාවප්‍රාප්ත වුණි.

ඔහු සිය ජීවන ගමනට සමුදුන්නේ 80 වැනි වියේදීය.

බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ ඊයේ (26) පස්වරුවේ සිට තැන්පත් කර තිබුණු ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට ආගමික නියෝජිතයින්, කලාකරුවන්, දේශපාලන නියෝජිතයින් ඇතුළු රසිකයින් බොහෝ පිරිසක් පැමිණ අවසන් බුහුමන් පුදකළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රියා සූරියසේන කලාකරුවාට අවසන් ගෞරවය පුදකළේ අද පෙරවරුවේය.

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතාද දේහයට අවසන් ගෞරව දැක්වුයේය.

ප්‍රියා සූරියසේන මහතාගේ දේහය අද පස්වරු 3.30ට පමණ අවසන් කටයුතු සිදුකෙරෙන බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ආවේය.

අවමංගල සභාවේ කටයුතු ඇරඹුණේ ඉන් අනතුරුවය.

අවමංගල සභාවේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව ප්‍රියා සූරියසේන මහතාගේ දේහය ආදාහනය කෙරුණි.

''අප හා ගෙවූ අතීතේ - මතකේ ලියා නික්මෙන'' සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!