නියෝජ්‍ය ඇමති පොලීසියට දුන් අභියෝගය
December 26, 2024 08:29 pm
මෙතෙක් කළක් කුඩු භාවිත කරන කෙනා ඇල්ලුවත්, කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් නොමැති බව ද හෙතෙම පැවසීය.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (26) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ඔහු මේ බව පවසා සිටියේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය.
මෙය මාධ්‍ය සංදර්ශනයක් නොවන බවත්, මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී ඇති බවද ඔහු පැවසීය.
විශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගවලදී කිසිදු දේශපාලනික මැදිහත්වීමක් නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තහවුරු කර සිටියේය.