දරුවන් සොයා ගිය සෙනෙහසේ නත්තල

දරුවන් සොයා ගිය සෙනෙහසේ නත්තල

December 25, 2024   09:57 pm

උදා වූ අසිරිමත් නත්තල ලොවපුරා ජනතාව ප්‍රීතියෙන් සමරමින් සිටී.

ලොව ප්‍රධානම නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ කිතුනුවන්ගේ ශුද්ධ නගරය ලෙස සැලකෙන වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදීය.

එහිදී අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ පෙන්වා දුන්නේ සාමය සහ යුක්තිය රජ කරන ලෝකයක් නිර්මාණයට ලෝවැසියන් කැප විය යුතු බවය.

කෙසේ වෙතත් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සිදුවූ බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් නත්තල් සැමරුම් සිදු නොකෙරුණි. ඒ ගාසා තීරයට එල්ලවන ප්‍රහාර හේතුවෙනි. 

මෙවර නත්තල රෝමයේ වතිකානයට සුවිශේෂී වූයේ ජේසුස් වහන්සේගේ උපත සිදුවීමේ 2025 වැනි ජුබිලි වසර ලබන වසරට යෙදී තිබීම හේතුවෙනි.

ඒ අනුව ජුබිලි සැමරුම් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් ශාන්ත පීතර බැසිලිකාවේ ලෝකඩ ද්වාරය විවරකිරීම අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අතින් ඊයේ පස්වරුවේ සිදුවුණි.

ලොව ප්‍රධාන නගර රැසක් නත්තල වෙනුවෙන් ආකර්ෂණීය සැරසිලි එක්කර තිබුණි.

මේ අතර මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ රාත්‍රීයේ ජා-ඇළ වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදී පැවැත්වුණේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

TV දෙරණ ද අනුග්‍රහය ඇතිව පැවැත්වුණු කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ නත්තල් දේව මෙහෙය කොළඹ සහායක රදගුරු අතිඋතුම් ජේ. ඩී. ඇන්තනි රදගුරු හිමි විසින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ පවත්වනු ලැබීය.

එම අවස්ථාවට TV දෙරණ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද එක්විය.

දේව මෙහෙය TV දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.

මේ අතර නත්තල වෙනුවෙන් මෙරට සුවිශේෂී සැමරුම් රැසක් විවිධ ප්‍රදේශවලදී පැවැත්වුණි.

කොළඹ නගරය මෙන්ම තවත් ප්‍රධාන නගර රැසක් ද නත්තල් සිරියෙන් විචිත්‍රවත් වී තිබුණි.

මෙරට සංචාරය කරන විදේශිකයින් ද නත්තල් සැමරුම් සඳහා එක්වී තිබුණි.

මේ අතර සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරි කරගත් 'මනුසත් දෙරණ' විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන යාපනයේ කුඩා දරුවන් වෙනුවෙන් විශේෂ නත්තල් වැඩසටහනක් සංවිධානය කර තිබුණි. 

මැලිබන් සමග එක්වී සංවිධාන කළ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 51වැනි සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මුතුමාල මහතා ඇතුළු එම සේනාංකයේ සහාය ද හිමිවුණි. 

සෙනෙහසේ නත්තල ලෙසින් එය නම් කර තිබුණි.

මේ අතර, නත්තලට සමගාමීව එෆ්.එම්. දෙරණ දරු නැණ දිරි වැඩසටහන යටතේ දළුගම සාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන් 300කට පාසල් උපකරණ බෙදාදීමද  සිදුකෙරුණි.

'අලුත් පංතියට අලුත් පොත් පත්' සමග දූ දරුවන් පාසලට පිටත් කර යැවීමේ සංකල්පය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, 2016 වසරේ සිටය.