බාර් ලයිසන් වැරදි ක්‍රමයට පිනට දීලා නැහැ - රනිල්ගෙන් නිවේදනයක්
December 9, 2024 09:39 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බවත්, එමගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයා ඇති බවත් ඒ මහතාගේ කාර්යාලය නිවේදනය කරයි.
එම නිවේදනය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත්කර ඇතැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්ය.
එහි අවධාරණය කර ඇත්තේ රට ආර්ථිකමය වශයෙන් කඩාවැටී තිබූ මොහොතක හිටපු ජනාධිපතිවරයා සියලු සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරීති හා නියමිත ක්‍රමවේදයන්ට අනුව බවය.
එම ක්‍රමවේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති අතර නව බලපත්‍ර නිකුත් කිරීම හරහා රජය මේ වසරේ මුල් මාස 09 තුළ රුපියල් බිලියන 3.1කට අධික ආදායමක් උපයා ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
එසේම මැතිවරණ කොමිෂන් සභාව 2024 අගෝස්තු 19 වැනිදා සුරාබදු කොමාසරිස් ජනරාල්වරයාට යොමු කළ ලිපිය මගින් නිර්දේශ ලබා දී තිබීම තුළින්ද මත්පැන් බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය නීත්‍යානුකූල බව තහවුරු කර ඇතැයි හිටපු ජනපතිවරයාගේ කාර්යාලය පෙන්වා දෙයි.
එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම විධිමත් ආදායම් ගෙන දෙන සුරාබදු බලපත්‍ර ඉදිරියට ගෙනයෑමේ හෝ අහෝසි කිරීමේ බලය වත්මන් අමාත්‍ය මණ්ඩලය සතු වන බවයි.