මත්ද්‍රව්‍ය සමග අරාබි මුහුදේදී කොටුකරගත් සැකකරුවන් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය සමග අරාබි මුහුදේදී කොටුකරගත් සැකකරුවන් රිමාන්ඩ්

December 9, 2024   05:44 pm

පසුගියදා අරාබි මුහුදු ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 355කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 11දෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

පොලිස් මත්ද්‍රව්‍යනායක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අද (09) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළේය. 

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එම කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

පොහොර උර 30ක එම මත්ද්‍රව්‍ය තොගය බහා මෙම සැකකරුවන් විසින් ප්‍රවාහනය කර තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. 

සොයාගනු ලැබූ එම මත්ද්‍රව්‍ය තොගයද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.